Saturday, October 14, 2017

කපටිකම කලාවකි....



දෙරණ හොඳම නළු සම්මානය ලබාගෙන දස්සයා කිව්වා සේම " දෙයියන්ගෙන් ඉල්ලුවා මුකුත් හම්බවුනේ නෑ...ඉල්ලපු ඔක්කොම හම්බවුනේ අම්මා තාත්තගෙන්.." කියමන මගේ හිතේද දෙතුන් පාරක්  දෝංකාර දෙන්නට හේතුවකි. මගේ ජීවීතයේද බොහෝ දේ දී ඇත්තේද අම්මා හැරුණු කොට සැබෑ මිනිසත් කම් තිබූ මිනිසුන් විසිනි. අහිමි කර ඇත්තේද මිනිසුන් විසිනි. එලෙසම එකමුතු මුද්දර ප්‍රදර්ශණයට කමිසයක් අරන් දුන්නේද දෙවියෙකු  දේවතාවියක වන්නට ඇත. ඒත් ඒ මිනිසාගේ ගැහැණියගේ නම මට මතක නැත. (අමතක වීම පසුතැවීමට හේතුවක් බව සැබැවය.)

එහෙත් මුද්දර ප්‍රදර්ශණයට පෙර දින කවුරුන් හෝ මගේ අත රුපියල් දෙසීයයක් වැනි මුදළක් තිබ්බා මට මතකය. ඒ  දෙසීය දෙන  අතරේම හෝ පවුලේ කෙනෙකු හෝ " නුගේගොඩ නෙමෙයි කෙලින්ම  වර්ල්ඩ් මාකට් පලයං..ලාබයි.." කීවෙන් මම 138ක නැගී කොළඹ ගියෙමි. මීට පෙර එඩේරමුල්ලේ ඉන්ද්‍රා අක්කලාගේ ගෙදර යන්නට කොළඹ කොටුවට ඇවිත් පුරුදු නිසා චකිතයක් නොතිබුණත්  මේ කී වර්ල්ඩ්  මාකට් ගැන මම මෙල්ලෙ සංසාරයක් දැන සිටියේ නැත. එකම මාර්ග උපදේශය වූයේ 138න් බැස පාලම පැන්නාට පසු කෙළින්ම වැටෙන්නේ මේ කලාපයට බවය.
එහෙම කොට පාලමත් පැන කඩ පිල් වල එල්ලා ඇති නොයේක විධ ඇදුම් ආයිත්තම් විසිතුරු විච්චූර්ණ බල බලා කමිස සාප්පුවක් හොයද්දී හදිසියේම කොට කෙට්ටු මිනිහෙකු කඩං පැන්නේය.
"යකෝ ..උඹ තනියෙන්ද ආවේ..කෝ බං අයියා.." කියා මගේ අත තරයේ අල්ලා ගත්තේය. අල්ලා ගැනුම සාක්කුවේ තුන්සීය ගැන මට බයක් ඇතිකලත් මේ මිනිහා අනිවාරයෙන් අපේ අය්යා කෙනෙකු දන්නා එකෙකු වන නිසා සතුටක් ඇතිවිය. එහෙත් මේ අහන්නේ මොන අයියා ගැනද. ලොකු අයියා හෝටලයේ වැඩය. අනෙක් අයියා පංචිකාවත්තේ දයාරත්න එකේ වැඩය. අනෙක් අයියා මට මතක හැටියට මොරටුවේ සිටි ෆාමසියේ වැඩය.

" අයියා. අපේ අයියගේ යාලුවෙක්ද..?" මමත් කොට ප්‍රශ්නයකින් දමා ගැසුවෙමි.
"යකෝ..අපි දෙන්නා බොක්ක නේ බං..ඕකයි මායි එක ඉස්කෝලේ.."
"ලොකු අයියද..?"
" නෑ බං .ඊලඟ එකා.."

මට දැන් වැඩේ සියයට සීයක් විස්වාසය. ඔහු අපේ දෙවනි අයියා දනී.

" අයියා අද වැඩ.."
"අපි උට ඉස්කෝලේ යන කාලේ කිව්වේ වෙන නමක්..මොකක්ද බං උගේ හරි නම.. මටත් දැං අමතකයි.."
"ධම්මික"
" අඩෝ ධම්මිකයා...ඔව් ඔව් බං උගේ පෙනුමත් ටිකක් පැත්තට උඹ වගේ. ඒ වුණාට උඹ ඉස්කොලේ ආවා මට මතක නෑනේ.."

මට මගේ අය්යාගේ යාළුවෙක් හමුවී තිබේ. මේ වන් නොදන්නා තැනක මෙහෙම අහම්භ හමුවීම් කොයිතරම් අගනේද. මට දැන බය සැකක් නැත. සල්ලි තද කරන් අල්ලා සිටි සාක්කුවෙන් අත එළියට ගත් මම ඇදක් කුදක් නැතිව විස්තර කීමී. මා ඉස්කෝලේදී නොදකින්නට හේතුව අයියා මෙන් හන්වැල්ලේ ඉස්කෝලෙට නොව රෝමානු කතෝලිකේ  දෙකේ පන්තියෙන් පස්සේ දෙල්කද ඉස්කෝලෙකට ආ  නිසා බවත්. දැන් ඉන්නේ දෙල්කද බවත් අද අයියා වැඩ බවත් මම ආවේ වැදගත් උත්සවයකට ඇදුමක් ගන්නට බවත් එක හුස්මට කීවෙමි.

අයියාගේ යාළුවා මගේ අත තවත් තදින් අල්ලා ගත්තේය.

" බලපං මේ යකා මට කලින් කිව්වේ නෑනේ. හරි කමක් නෑ. උඹට ඕනේ සර්ට් එකක්නේ. හැබැයි කොල්ලෝ මේ වර්ල් මාකට් එකේ අයියලා ගැන උඹ දන්නේ නෑ. ලෝක ආදෝ..උඹ හොද වෙලාවට මට හම්බවුනේ. යමං ඉස්සෙල්ලා මොනවාහරි කාලා ඉම්මු. උඹට බඩගිණිත් ඇතිනේ.."

මම බෑම කීමි.

මට ඉතාම ඉක්මනින් ආපහු යන්නට ඕනෑය. විජේරාමේ යාළුවා තනියම ප්‍රදර්ශණයේ වැඩ කටයුතු වලය.  කකා ඉන්නට නොව මට මුද්දර අලවන්නට තිබේ. අනෙක මම කොළඹින් ගෙදර ගොස් අම්මාට මා ආ බව කියන්නටත් ඕනෑය. මම බෑම කීමී. එහෙත් අයියාගේ යාළුවා මගේ බෑ කීම සත පහකට ගනන් ගත්තේ නැත. මගේ අත අතහරින පාටක්ද නැත. මගේ අතෙන් අල්ලාගෙනම මේ අයියාගේ යාලුවා ස්ටේෂමත් පැන තේ කඩයකට රිංගා ගත්තේය.

"ලොක්කා මේ මගේ යාලුවෙක්ගේ මල්ලි කෙනෙක්..වර්ල් මාකට් ඇවිල්ලා..සලකන්ඩ එපැයි නේ..දාන්ඩ හොද ටී එකක් කොල්ලට. මට ප්ලේන්ටී එකක්."

ඔහු මුළු කොටුවම අදුරන අයියාගේ යාළුවෙකි. මම බයවෙන්නේ මොකටද. එහෙත් පොඩි බයක් තිබේ. සල්ලි ඇත්තේ අර දෙසීය පමණකි. බස් ගාස්තුවට දුන් තව විස්සක් ඇරෙන්නට සත පහක් වැඩිපුර නැත. අයියාගේ යාළුවා තේ බොන්නේ මගේ සල්ලි වලින්ද..? එහෙත් අපි තේ බී ඉවර වූ සැනින් අයියාගේ යාළුවා මුදළාලිට "එන්නං මං ආපහු ලොක්කා " කීය. එහෙත් බීපු තේ වලට සත පහක් දුන්නේවත් නැත. මුදළාලි කිසිත් කීවේත් නැත. මූණේවත් කිසිම වෙනසක් පෙනෙන්නට තිබ්බේත් නැත. අයියාගේ යාළුවා මෙහේ ලොක්කෙකු වන්නට ඇත. අනෙක මගෙන් සත පහක දෙයක් ඉල්ලුවෙත් නැත.  මේ වගේ යාළුවන් අයියලාට ඉන්නට ඒ අය කොයි තරම් හොද යාලුවන් වෙන්නට ඇත්ද..? ඒ නිසා උඹලගේ අයියා මගේ බොක්ක යකෝ..කීව එක ගැන මම හිතින් සතුටු වුනෙමි.

දැන අප ආපහු වැටෙන්නේ මේ  "වර්ල් මාකට්"  එකටය. ඒ මැදින් ඇතුල් වූ අප කමිස එල්ලා ඇති කඩ කිහිපයක්ම පහුකරගෙන ආවෙමු. ඒ පහුවෙන හැම කඩේකම හිටි බාල- මහළු,  කොණ්ඩ සුදු -කොණ්ඩ  කළු, කොට උස මහත කෙට්ටු හැම එකාටම අපේ අයියාගේ යාළුවා " ආ.... ලොක්කා..!!" කීය. ඒ අයත් එක්කෝ අත වැනීය. එක්කෝ අහක බලාගත් හ. (අහක බලා ගත් අය අපේ අයියාගේ යාළුවාගේ ඉරිසියාකාරයෝ වන්නට ඇත. එහෙමත් නැත්නම් කීවා මෙන්ම අපතයෝ, ආඳෝ වන්නටද ඇත.) මේ යන ගමනේ එක තැනක මා නැවැත්වූ අයියාගේ යාලුවා " උඹ සර්ට් එක තෝරගනින්..ගනං කියන්ඩ එපා...ඒක මම කතා කරලා දෙන්නං ..එච්චරයි. " කීය. මම ඔලුව වනා "හා" කිමී.

ඊළගට අප දෙන්නා කමිස කලිසම් රෙදි ඉතාම ලස්සනට පිළිවෙලට අඩුක් කොට ඇති කඩ කාමරයකට ඇතුල් වුනෙමු. අයියාගේ යාළුවා එහි සිටි අයටද ලොක්කා කීය. කීවා පමණක් නොව. " මේ අර ධම්මිකයගේ මල්ලි බං. උට සර්ට් එකක් ගන්ඩ ඇවිල්ලා " කීවේය. ඒ අයත් අපේ අයියාගේ යාළුවෝය. මගේ සතුට නිම් නැත. අපේ දෙවැනි අයියා වැඩිපුර යාළුවන් ඇසුරු කරනු මා දැක තිබුනේ නැත. මේ ඔහුගේ විස්වාසදායක සුළු කණ්ඩායමේ අය වෙන්නට ඇතිය.

මම කමිස තේරුවෙමි. කමිස විවිධාකාරය. ඉරි ඉරි, කොටු කොටු වශයෙන් පමණක් නොව මල්මල් ද ඇත්තේය. මම ඉරි අත්කොට කමිසයක් තේරුවෙමි. එහෙත් කඩේ අයිතිකරු වන්නට ඕනෑ කෙනා මගේ තේරීම ගැන සතුටු වූයේ නැත. ඔහුට අනුව එය දාඩියට ඔරොත්තු දෙන්නේ නැත. මම තව එකක් තෙරුවෙමි එහෙත් ඔහුට අනුව එය  කල් පවතින්නේ නැත. අන්තිමේ ඔහුම එකක් තෝරා මට දුන්නේ
" මේං මේක ගන්ඩ කොල්ලෝ සෝක් කමිසේ" කියමිනි. එය අළු සහ ඊට ලගින් යන  වර්ණ වලින් යුතු විය. ඔහුම ඇගට තබා " ෂා..මරු " කීවේන් මම කැමැති වුනෙමි.

මම අයියාගේ යාළුවා දෙස බැලිමි. ඔහු මගේ ඉඟිය තේරුම් ගන්නට ඇත. මම කමිස්යක් තෝරාගෙන ඇත. "හරි මල්ලි උඹ එළියේ ඉදපං." කියා මට එළියට යන්නට කීවේය. ඉන් විනාඩියක් යන්නට පෙර ආපසු ඇවිත්. "මුංගෙ අස්ප ගනං කොල්ලො ..එකසිය හැත්තෑපහයි කිව්වා. ඒම කෝමද ..එකසිය පනාක් දීපන්. මං දෙන්ඩ කීය." මේ වගේ අයියාගේ යාළුවන් සිටීම කොයිතරම් හොදද. මම සාක්කුවෙන් ඇද එකසිය පනහක් දුන්නෙමි. අයියාගේ යාළුවා දැන් මා සමග නැවැත පාරේය. ඔහු ඒ එන අතරේම අර කඩ හිමියාට නොසෑහෙන්න බැන වැදුණේය. ඔහුට අනුව කඩහිමියා වැඩියෙන් ගන්නට උත්සාහ කොට තිබේ. මා ගැලවුනේ ආශ්චර්යකින් මෙනි.

මා මේ කපටින්ගෙන් ගැලවුනේ අපේ අයියලාට මේ වන් යාළුවන් ඉන්නා එක නිසාවෙනි.
අන්තිමේ මම ආපසු බසයට නැග්ගෙමි. " අයියට කියපං මාව හම්බවුනා කියලා." ඔහු සමුගත්තේ එලෙසෙනි.මම සතුටු දහසක් මැද ගෙදර බලා පිටත් වුනෙමි.ගෙදර එනවිට මට ප්‍රීතිදායක සිදුවීම් කිහිපයක් සිදුවී තිබේ. එකක් නම් එකසිය හැත්තෑපහක කමිසයක් විසිපහක් අඩුවෙන් ගන්නට ලැබීමයි. එහෙම වාසි ලේසියෙන් වෙන්නේ නැත. අනෙක මගේ මුද්දර වැඩ වලට හැත්තෑපහක් ඉතිරි විමයි. අනෙක අපේ අයියාගේ බොක්කේ යාළුවෙක් හමුවීමයි.  ඒ නිසාම මා කවදත් කැමති ටින්කිරි දැමූ තේ එකක් නොමිලයේම බොන්නට ලැබීමයි.

මා ගෙදර විත් අම්මාටසම්පූර්ණ විස්තරයද කියා  කමිසය ඇද පෙන්වීමී. අම්මාගේද සතුට වැඩිවී ඇස්  ලොකු වනවා මා දුටිමි. එහෙත් ඈ කිසිත් නොකීවා මට මතකය. ඈ නොකී දේ හවස ගෙදර ආ අයියා කීය.

" ගොං මැට්ටා..කපටි හොරෙක්ට අහුවෙලා...යකෝ මේක රුපියල් එකසිය විසිපහක් වටිනවද...යකෝ දෙකක් ගන්ඩ පුළුවන් සල්ලි දීලා මූ අරන් තියන එක....!!තොට මොලයක් නැද්ද.."

බැනිල්ල නම් මට ඉවසා ගත හැක. එහෙත් ටොකු දෙක තුනක් ඉවසා ගත නොහැක. මමද යුධ වැදුණෙමි.

"තොගෙ යාළුවෙක්නේ අරන් දුන්නෙ.."

එදා එතැනින් එහාට බොහෝ දේ සිද්ධ විය. අම්මා අපේ රණ්ඩුව නිසා අඩන්නට විය. මගේ පොඩි එකාට තමයි ඔක්කෝම මුන්ගේ ගෙරවිළි කියා මැසිවිළි කීවාය. සැමදාම මෙන් අප හවස් වරුවේ වචන පිට නොකර නිස්සබදව ගෙවා දැමුවෙමු. රණ්ඩුවක් ඇති වී ගිනිගෙන පසුව ඇතිවෙන නිහඩ කම දඩුවමක් මෙනි. කවුරුවත් කතා කරන්නේ නැත.

මම පසුදා මුද්දර ප්‍රදර්ශණයට අර කමිසය ඇදගෙන ගියෙමි. එහි වැරද්දක් නැත. එකම වරද එක අතක් වැලමිට ලගටද අනෙක් අත වැලමිටෙන් බාගයක් උඩටද ප්‍රමාණ දෙකකින් උස වීමයි. වැඩිපුර දාඩිය  වැටෙන එකත් දාඩිය උරාගන්නේ නැතිව කලිස්ම දිගේ බහින එකත් ඇරෙන්නට වෙන කිසිම වැරද්දක් එහි නැත. මට තේරුම් ගන්නට බැරි අයියා විසින්  අයියාගේ යාළුවා මා රවටා ඇති බවටත් "මං දන්න  එහෙම එකෙක් නෑ " කියා පරසක්වල ගැසීමත්ය.

ඒ කමිසය මේ උඩ පින්තූරයේ තිබේ.

එදා සිට අද දක්වාම මට තවමත් "අයියාගේ යාළුවා" ජාතියේ අය හමුවෙමින් තිබේ. සමහර අය ඒ තරම් දක්ෂ නැති නිසා මට හිත යටින් හිනා ගොස්ද තිබේ. සමහර අයට මා සම්පූර්ණයෙන් රැවටී තිබේ. දැන් දැන් ඒ ගැන මතක් වී හිනාවෙන්නටද හිත හැදී තිබේ.

Monday, October 9, 2017

මාර ගහේ රෝස මල්...



මුද්දර ප්‍රදර්ශනය ගැන සටහන පලවූ වහාම මගේ මිත්‍රයා මා ඇමතීය. ආගිය තොරතුරු වලින් පස්සේ හවස් වරුවේ කතාබහකට එකඟ වී දුරකතනය තැබූ අපි හවස හමුවී සමුගන්නා විට පාන්දර එකත් පහුවී තිබිණ. මගේ "හමුනොවීමේ" දුක්ගැනවිල්ලට එහෙම හමුවීමක් අහම්භයෙන් හෝ යොදාගැනීමට හැකිවීම සතුටකි.
මේ අහම්භය අතරතුර මුද්දර ප්‍රදර්ශණ, චිත්‍ර ප්‍රදර්ශණ, දුප්පත් පාසල් වලට පොත් බෙදාදීම ආදී ව්‍යාපෘති වලට  "මෙව්වාට අපිට සල්ලි තිබ්බේ කොහෙන්ද බං.." කියා මා ඇසූ ප්‍රශ්නය නතරවුනේ අතීතයෙනි.

(උත්තරය වුනේ " ඇයි බං අර මාර ගහ යට කඩේ ලාච්චුවේ සල්ලිවලින්නේ.." කීමය.)

ඒ අතීත කතාව නතරවෙන්නේ දෙල්කද ඉරිදාපොල පැත්තේ කොල්වින් ආර් ද සිල්වා මහත්තයා හැපුණු මාර ගහෙනි. මාර ගහ එක එල්ලේ තිබ්බේ සිසිර අය්යලාගේ ගෙදරට ඉදිරිපසිනි. අද ඒ ගේ නැතත් ඒ අය ඉදිති.

මේ ගෙදර පරණ තාලේට ඉස්තෝප්පුවක් තිබුණු අතර ඒ ඉස්තෝප්පුව ඉදිරිපස කඩා බිද දමා ලෑලී දොරවල් දැම්මේ හදිසියෙනි. හදිසිය වුනේ ඒ පාරට මුහුණලා ඇති " කෑල්ලේ " කඩ කෑල්ලක් දැමීමටය. මෙහෙම යෝජනාවක් ආවේ කොහොමදැයිවත්, එවා කලේ කාගේ වුවනාවටදැයි වත් මම නොදන්නා වුව සිසිර අය්යාට විවිධාකාර ලෙස ඊට උදව් දුන්නෙමි. අන්තිමේ අපි ඉදිරිපස පමණක් ඉතුරු කොට අනෙක් බිත්ති අලලා පොත් රාක්ක මෙන් විවිධ ප්‍රමාණයේ රාක්ක සවි කලෙමු.  ගෙදර ශීතකරණය කඩේට ආ අතර. කැෂියර් මේසයක් හා පුටුවක්ද මුළින්ම ගෙනවිත් තිබ්බේ මුත් කිසිදු බඩු භාණ්ඩයක් තිබුනේ නැත.

අන්තිමේ එක දවසක පරණ ලොරි භාගයක් පුරා ගෙන ආ නොයේක විධ බඩු බාණ්ඩ ලොරියේ සිට කෙළින්ම බෑවේ කඩ කාමරය ඇතුළටය. ඒවා වෙන අයට නොපෙන්වෙන සේ ලොරිය ගෑවෙන නොගෑවෙන සේ කඩ කාමරයේ කට ලගටම හේත්තු කොට නවතා තිබුණේ ඇයිදැයි මම නොදනිමි. එහෙත් මගේ අදහස වුණේ ඒ කොස් ගහ යට ගාමිණි අය්යාගේ කඩේට නොපෙනෙන්නටය. "අපේ කඩේට" ගාමිණි අයියාගේ ඉරිසියා බැල්ම වැටේ යැයි සිතා එහෙම කල බව මම සිතා සිටියෙමි. එහෙත් බඩු බෑ විගස ගාමිණි අයියා පැමිණි තොග ගනන් ගන්නා හැටි, ගනන් හිලව් ලියන හැටි, මාරු තියාගන්නා හැටි, සල්ලි කොල රෝල් කොට වෙන වෙනම තියාගන්නා හැටි, විකිණෙන බඩු වෙනම ලිස්ට් එකක් හදන හැටි, ගණුදෙනුකරුවන් පැමිණ කඩේ නැති බඩුවක් ඉල්ලු විට නෑ නොකියා හදිසියක් නැත්නං හෙට දෙන්නං කියන හැටි. කියාදුන්නේ මගේ ගොං අදහස සුණු විසුණු කරමිනි.

එහෙව් තබා කඩේ අරින්නට පෙර මෙහි කඩයක් කෙරෙනා බවට කිසිදු සැකයක් නොවෙන්නට තබා විවෘත කෙරෙන දවසට ලොකු  පුදුමයක් එක්ක කළ එළි බහින හැටි කීවේද ගාමිණි අයියාය. අද කාලේ නම් අයියලාට නම් අලුතෙන් කඩයක් දාන  එකාට "කොන්ත්‍රාත් එකක්" දෙන විදිය ගැන දහ අතේ කල්පනා කලොත් මිස වෙන කල්පනාවක් එන්නේ නැත.
අන්තිමේ "අපේ කඩේ" කිරිබත් -කැවුම්- කෙසෙල්ගෙඩි කා තේ බී විවෘත කෙරිණ. විවෘත කෙරුණේ මා නොදන්නා දේශපාලක මහත්තයෙක් අතින් බව නම් මට මතක වුව ඔහු කවුදැයි මට එදා දැනගෙන හිටියේත් නැත. අද දන්නේත් නැත. නමුත් පළමු ගණුදෙනුව කලේ සිසිර අයියලා ඉතා ආදරය කල දෙලකද පැත්තේ ඉද පුස් බයිසිකලයක් පැදගෙන ආ "බාප්පා" කෙනෙකු බව මට හොදටම මතකය.

(ඔහුව මට මතක කිරිටොපි ගෙනන නිසාය. ඔහු එන හැමවෙලාවේම වාගේ මා එහි යන නිසා සිසිර අයියලාගේ ලමයින්ට ගෙනෙන චොක්ලට් වෙනුවට මට කිරිටොෆි දෙකක් හම්බවිය. මේ බෙදිල්ල ගැන එදා මගේ හිතේ කුකුසක් තිබ්බද ඒ බයිසිකල් බාප්පාගෙන් මම චොකලට් ඉල්ලන්නට ගියේ නැත. අපේ අම්මාටත් චොකලට් හම්බවුනානම් ඔය කාටවත් නොදී දෙන්නේ තමන්ගේ එකාට බව මම දැන සිටියෙමි. ඒ නිසා ඒ ගැන ලොකු හැගීමක් ඇතිවුනේ නැත.)

ඔහු ඉතා නිවුණු කෙනෙකු විය. සිගරට් අරක්කු පාවිච්චි කලේද නැත. එහෙම හොදට මතක පළමු ගණුදෙනුව කරද්දී ලාච්චුවේ සිගරට් දමන රවුම සිසිර අයියා විසින් නොපෙනෙන්නට හැංගූ නිසාත්, කවුරුන් හෝ එය දැක සිසිර අයියා රතුවෙනතුරු විහිළු කල නිසාත්ය. කෙසේ හෝ ගාමිණි අයියා කීවා සේම එදා කඩේට සෙනඟ ආවේ රැස්කකා තොරණ් බලන්නට මෙනි. හාල් සීනී පරිප්පු මෙන්ම අල ලූණු විකුණුනේ බලන් ඉද්දීය. පොල්තෙල් භූමිතෙල් කිරන්නට "කරාඬි" තිබ්බා මට මතකය. අනෙක්වා ග්‍රෑම් ගානට කිරන්නට අමුතුම භාණ්ඩයක් ගෙනවිත් තිබිණ. එය පැතළි තහඩුවක් සහිත මතුපිටක් තිබු එකකි. එහි ඕනෑම දෙයක් තිබූ පමණින් ඒ හා සම්බන්ධ පොඩි කණුවක වැනි එකක සවිකර තිබූ හතරැස් කොටුවක කොලපාටින් ග්‍රෑම් ගනන දිස්වෙයි. අත තබා තද කල විට බින්දුවේ සිට සටපට ගා අර අංක උඩ යන හැටි බලන්නටත් ආසාය.
ඉන්පස්සේ කැල්කියුලේටරය ඔබා අපේ ගාන සාදා ගත හැක. එහෙත් දිනෙන් දින කඩේ බලන්නට ආ අය අඩුවී වෙළදාමත් සාමාන්‍ය තත්වයට පත්විය. එකල අද විකිණෙන දෑ කලින් කියන්නට හැකි තරම් සීමිත වෙළදාමක් තිබ්බේය. කඩේ රාක්ක වල අද මෙන් මහා බඩු කන්දරාවක් තිබ්බේද නැත.
මුළින් මුළින් සිසිර අයියා කඩේ පැය දහයක් දොළහක් හිටියත් පසුව මේ කඩේ ලාබයෙන් අමාරු නිසා ගෙදරම වැල්ඩිං වැඩපලක් පටන්ගත්තේය. මා ඉස්කෝලේ ගොස් ආවිට වැඩිපුර නිදැල්ලේ නිසා මට කඩේ වැඩ ටික ටික ඉබේම බාර විය
ඒ අස්සේ ගෙට සම්භන්ධ ලෑලි තට්ටුවේ දනහිස ලගට වෙන්නට ඉවත් කල විවරයක් හරහා අපට තේ බිස්කට් ලැබෙයි. ඒ ගේ ඇතුළෙනි. ගේ ඇතුළේ සාලය කොටස වෙන්වී තිබුණු නිසා සාලයේ තිබූ පුටු සෙටිය අර කුඩා කැබැල්ලේ දමා අඟල් දහහතරේ වර්ණ රූපවාහිණිය තිබ්බේ කැබිනට් එක උඩය. වීදුරු පිඟන් පුස්කකා අර කැබිනෙට්ටුවේම සදාකල් තිබෙනු මිස ඉන් එළියට එනු මා දැකලා නම් නැත.

මේවා මෙහෙම මතක හිටින්නේ කොහොමදැයි අහන්නට වුවමනා නැත. මගේ මතකය විතරක් නොව බොහෝ අයගේ මතකය බැදී පවතින්නේ ඉතා කුඩා සිදුවීම් -පින්තූර-කතාබහ සමඟ වන්නට ඕනෑය.

ඉතින් වීදුරු පිඟන් පුස්කන කැබිනට්ටුවත් ඊට උඩින් හිටි වර්ණ රූපවාහිණියත් මතක "රෝස මලක්" නිසාවෙනි. රෝස මල මතක සිසිර අයියා මා කඩේ නවත්වා අර සාල කෑල්ලේ තව ඒ වයසේ අයත් එක්ක රෝසමල් "කැසට් එක" බලන නිසාවෙනි. එදාට සිසිර අයියලාගේ අක්කලා දෙන්නා ගෙදර නැති වෙලාවල් වීමත් මට තේරුණේ නැත. ඒ කෙසේ වෙත ඒ අය අර රෝසමල් වීඩීයෝ කැසට් එක බලන වෙලාවට මම කොයිතරම් උත්සාහ කලත් ඒ පැත්තට ඔලුව දාන්නට ලැබෙන්නේම නැත. එකම අවස්ථාව වූ අර තේ කෝපි එන විවරයත් මොකක් හරි පෙට්ටියකින් ගෝනියකින් වැසිලාය.

කෙසේ හෝ මා කඩයේ තනිකර සිසිර අයියාත් ඇතුලට ගිය වේලේ මම බිම දිගාවී දූවිලි කමින් අර රූපවාහිණි තිරය දිහා බැලුවෙමි. එහි සුලගට වැනෙන රෝස මලකි. ලා තැඹිළි පාටය.  එහෙත් මෙච්චර හැංගී බලන්නේ ඇයි.

එහෙම වුනාම කුතුහලය වැඩි වන්නේ නැද්ද..?

අන්තිමේ කුතුහලය උත්සන්න වී මම දවසක සිසිර අයියා බඩු ගෙනෙන්නට එළියට ගිය වෙලේ අර සාලේ කොටසට පැනගත්තෙමි. පැන අතට අහුවෙන සියළුම විඩීයෝ කැසට් එකෙන් එක ප්ලේයරයට ඔබා බොත්තම තදකලෙමි. ඒවා බහුතරයක් බෲස් ලීගේ ඒවා විය. අනෙක් ඒවා හින්දි චිත්‍රපට විය. ඒත් කොහේ නැතත් හිටපු ගමන් එන වාසනාව මට ඒ වෙලාවේත් කඩන් වැටුණේය. අර රෝස මල් වීඩියෝව තිබේ.
මම විනාඩි දෙකක්...බලං හිටියෙමි...රෝසමලක් විතරය. පහක් බලං හිටියෙමි...රෝස මලක් විතරය. තව පහක් විතර බැලුවත් ඒකමය. ඒත් මේ එකම දේ දහපාරක් විතර පෙන්වන රෝසමල් වීඩියෝවේ මොනවා බලන්නද..? අන්තිමේ මේ රෝසමල් ගැන මුන් ටික මොකක් හරි උද්භිද විද්‍යාත්මක මංගල්ල්‍යයක් හොයනවා ඇත කියා සිතන විටම සත්ව විද්‍යා මංගල්‍ය එළි පැන්නේය. ඒ මිදි වල්ලක් අතින් ගත්සුදු අක්කා කෙනෙකු ඇඟේ නූල් පටක් නැතිව  ඒ වගේම තව සුදු අයියා කෙනෙකුට මිදි ගෙඩිය ගෙඩිය පරෙස්සෙමෙන් කවන හැටිය.  ඒ දෙන්නාගේ මිදි කෙසේ වෙතත් මට නම් හීන් දාඩිය දමා චූ බරක් ඇතිවිය. පත්තර කෑලි වලින් කියවා ඇතත් මෙහෙම " ලයිව්" දැක්කේ එදාමය. මම දනි පනි ගා විදුලිය විසන්ධි කොට කඩේට පැන්නෙමි.

සිසිර අයියා දිගින් දිගටම මා විස්වාස කලේය. මට එහෙම හිතුනේ කඩේට ආ වෙලාවක අර රෝසමල් කල්ලියේ එකෙකුට සිසිර අයියා " යකෝ බැලුවනං හංගලා පලයං අර පොඩි එකා විතරයි සමහර දාට, ඌ නිකමට හරි බැලුවනං" කියා කෙන්තියෙන් කියනු බලා හිදය.

ඒ විස්වාසයට අමතරව මම මුද්දර ප්‍රදර්ශණයට " ආධාර " එකතු කලේද සිසිර අයියාගේ ලාච්චුවෙනි. ඒවා බරපතල සොරකම් නොවීය. බොහෝ විට කොල කැබල්ලක මා ඉතුරු ලබා නොදුන් හෝ අඩුවෙන් ලබාදුන් ගනන සටහන් කොට හවසට ඒ කාසි ටික සාක්කුවේ ඔබාගතිමි. නැත්නම් බැරිම තැනක පොඩි ගානක් සාක්කුවේ දා ගතිමි. ඒවා අපේ මුද්දර ප්‍රදර්ශනයට සුළුවෙන් දායක විය.

එදා එහි හරි වැරද්ද මට තෙරුණේ නැතත් අදත් මා හිතන්නේ මා ලොකු වැරද්දක් නොකල බවය. ඒවා අපේ අහින්සක ප්‍රොජෙක්ට් වලට යටවී දියවී ගියේය. අපට ඒ වෙනුවට ලැබුණේ ආත්ම තෘප්තිය පමණකි.
සිසිර අයියාගේ සිල්ලර කඩේද වැසී ගියේය. ඒ, ඒ මනුස්සයාගේ හිත හොද කම නිසා බව මම හොදින් දනිමි. සමහර දාට නයට බඩු ගෙනයන අයගේ නමක් ගමක් වත් සිසිර අයියා දන්නේ නැත.  " ගෙනත් දෙයි බං" කියනු මිස නහයෙන් අඩන්නේ නැත. එක දවසක බයිසිකලයක් නවත්වා සෝඩා බෝතලයක් ඉල්ලාගෙන යන්නට ආ මනුස්සයා මුදළ් ගෙනවිත් තිබුණේ නැත. හැරෙන තැපෑලෙන් එමි කියා පපුවේ අත ගසා දිවුරූ   මේ නාන්නාදුනන මනුස්සයාට සෝඩා එකත් සිගරට් දෙකකුත් කිසිත් නොකියාම අරන් යන්නට දුන් සිසිර අයියාට මා දන්නා කාලෙක නම් ආපහු එවාට මුදළ් ලැබුනේ නැත. (අඩුම තරමේ හිස් බෝතලයවත්)

මෙවා නිසා සිසිර අයියාටද, අපට මෙන් අද ගොඩක් අයට දැනෙන්නේ නැති ආත්ම තෘප්තිය ලැබෙන්නට ඇත.
මට මේවා මතක් කර කර ආයේමත් අර කී ආත්ම තෘප්තිය ලබන්නට හැක.

ඒ මදිද..?

Friday, September 29, 2017

වෙන රත්නසිරි කෙනෙක් ගැන...





 මහර මතක එළියට එන්නේ අහම්බෙනි. අදත් ඒ වන් අහම්බයක් සිදුවිය. ඒ හන්දියේ පොත්කඩේ ලඟ ඉද්දී පොඩි එකෙකු අර පොත් කඩේ ෂෝකේස් එකේ තිබූ කුඩා මුද්දර කාඩ්පතක් අරන්දෙන්නටය කියා අම්මා කෙනෙකුගේ අතේ එල්ලී මූණත් රතු කරගෙන පස්සෙන් ගිය එකය.

 පොඩි එකා නිසා මට "එකමුතු මුද්දර දැක්ම" මතක් විය.

මුද්දර ගැන මට ඒ තරම් ලොකු වුවමනාවක් තිබ්බේ නැතත් කොපි පොත් හත අටක් පිරෙන්නට ලංකාවේ මුද්දරද - පිටරට මුද්දරද අලවාගෙන සිටියෙමි. මේ මුද්දර වල සැඟවී ගත් කතාන්දර රාශියක්ම විය. ලංකාවේ නම් දැති හැදෙන සේ කපා නොතිබුණ හරි හතරැස් "රැජිනගේ පැන්ස මුද්දරය" ලොකු වටිනාකමක් ඇති එකක් ලෙස එදාත් මුද්දර එකතු කරන්නෝ දැන සිටියහ. ඊලඟට මුද්‍රණයේදී වැරදි - අඩුපාඩු ඇති මුද්දර වලටද ලොකු මිලක් නියම විය. එහෙත් ඒවා තැපැල් දෙපාර්තමේන්තුවෙන් එළියට ආවේ කොහොමදැයි කියන්නට මම දන්නේ නැත. උදාහරනයක් විදියට එහෙම වැරදුණු මුද්දරයක් වූ තැඹිළි වල්ලේ මුද්දරයේ ගෙඩි ගනන පිළිබද කතාවක් තිබුණාට ඒ ගැන මම දන්නේත් නැත. එහෙත් ලෝකයේ රට රටවල මුද්දර වල විවිධ හැඩතල, ප්‍රමාණ මෙන්ම තොරතුරු මගේ පමණක් නොව මුද්දර එකතු කරන්නන්ගේ දිහින පාරාදීසය ලොකු මහත් කර අපූර්ව කර දුන්නෝය.

මා මේ ලියන්නට යන්නේ මුද්දර ගැන නොවේ. එහෙත් මුද්දර ගැනම ඈදෙන කතාවක් නිසා විශේෂයෙන් මුද්දර ගැන නොළියා කතාව ලියන්නට තැත් කරමි.


මේ 1989 අවුරුද්දේ මැද හරියේ පමණ දීය. ඒ අප එකල අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අප්‍රේළ් මාසයකදී පෙනී සිට  මගේ අතුරු නවාතැන්පල වූ මහරගම "181" හී තවත් කීපදෙනෙකු සමඟ කල්ලි ගැසෙන කාලයයි. 181 අපට ජීවීතයේ වැදගත්ම නවාතැන්පලක් විය. මගේ කියවීමේ ඇබ්බැහියට අළුත් පාරක් කපාදුන්නේද මේ නවාතැනම වීම මට ඊට විශේෂ ඇඟළුම් කමක් ඇතිවීමට බලපෑවේය. 


181 අයිතිව තිබ්බේ මගේ නිහඩ මිත්‍රයාගේ තාත්තාටය. එහෙත් එය අයිතිවීමක් නොව නැතිවීමක් බව පසුකාලීනව යම් යම් දෑ නිසා ඔප්පු විය. මඟේ යාළුවාට තාත්තා නැතිවුණේද මේ 181 දීමය. මඟේ යාළුවා අම්මා වුව හදවතෙන් ඟලවා දැම්මේ මේ 181 දීය. එහෙත් මා දුටු "හොඳ තාත්තා" කෙනෙකු වූ මේ නීතී ලිපිකරුගේ මුහුණේද කතාවේද ඇවිදීමේද අමුතුම ශාන්ත ගතියක් තිබ්බේය. ඔහු උඩුකයට ඇදුමක් නැතිව සරමක් පිටින්ම ගෙදර ඉස්තෝප්පු කෑල්ලේ පත්තර බලන හැටි මට තවමත් මතකයේ චිත්‍රයට නගා ගත හැක.
(ඔහු නිසාත් ඔහුගේ පුතා නිසාත් මම අළුත්කඩේ අධිකරණ පරිසරය අත්වින්දෙමි. එහිදී "අනුකම්පාව, රිදෙන හිත් සහ මානව දයාව " පැත්ත පළාතක නැති අමුතුම සත්ව විශේෂයක් ඒ අනුකම්පාව දයාව ගැනම වරු ගනන් තර්ක කරන හැටි දුටුවෙමි. )


කෙසේ හෝ අපි 181 ගෙදර අම්මාගේ ප්ලේන්ටි බොමින් බත්කමින් ප්‍රේමදාස ගැනද විජේවීර ගැනද අළුත් පොත් ගැනද කවි ගැනද කියව කියවා ඉද කළුවර වැටුනු පසු ගෙදර යන්නෙමු. බොහෝ විට ලංගමයේ සීසන් එක ප්‍රයෝජන ගෙන ගියද සමහර දාට වත්තේගෙදර සිට මගේ යාලුවා ඉන්නා විජේරාම හන්දියටත් දෙල්කද අපේ ගෙදරටත් පයින්ම යන සිරිතක් තිබුනෙන් අද වාගේ හතිළන්නේ නැතිව ගෙදරට යනකම් පයින් ගියෙමු.
මෙහෙම දවසක මුද්දර ප්‍රදර්ශනය ගැන කතිකාවක් ආවේය. අපි කතිකාව ස්ථිර කළෙමු. ඊළගට ඒ ගැන තොරතුරු සෙව්වෙමු. 


(අපේ මුද්දර කතාව එන්නේ මේ 181 හරහා මුත් ඒ අදහසේ මුල් අයිතිකරු කවුරුන්දැයි කියන්නට මට මතක නැත. එය මා දැන් හිතන විදියට නම් විජේරාමේ සුභද්‍රාරාම විහාරයට ඉදිරිපිට වංගුවේ මගේ කැත කළු මිත්‍රයාගේය. ඔහු මුද්දර ගැන පකීර් කෙනෙකු විය. ලොකු මුද්දර එකතුවක්ද ඔහු සතුව තිබ්බේය.)


අප දැනගත් පරිදි ලංකාවේ නම් මුද්දරයේ ඔස්තාර් වූයේ ෆ්‍රැන්සිස් .පී.ගුණසේකර   මහත්තයාය. ඔහු එකල සිළුමිණේ මුද්දර ගැන තීරු ළිපියක් ලියමින් මුද්දර ළෝලියන්ගේ පිපාසාව නිමනවා වෙනුවට ගිණි ඇවිළුවේ ලෝකයේ විවිධ මුද්දර ගැන වර්න පින්තූරද පළකරමිණි. ඒ ලිපියම Sunday Observer පත්තරයේද පලවූවා මෙන් මට මතකය.ඒ නිසා මූලිකවම ඔහු හමුවී මේ ගැන දැනගන්නට - උපදෙස් ගන්නට අපි තීරනය කළෙමු. අවාසනාවකට අපි ඔහු හමුවීමට දෙවතාවක්ම ලේක් හවුස් කාර්යාළයට ගියමුත් හමුවෙන්නට අවස්ථාවක් නොළද්දෙමු. ඔහුට යැවූ ලිපි කීපයකටද ලේක් හවුසියේ තබා ආ පණිවිඩ කිහිපයකටද පිළිතුරු ළැබුණේ නැත. ඒවා සමහර විට ඔහුට නොලැඹෙන්නට ඇත.


අපි අපේ විදියට වැඩේ කරන්නට තීරනය කළෙමු.

ඊළගට ප්‍රදර්ශණයක් පැවත්වීමට සුදුසු තැනක් සොයා කොළඹ පීරුවෙමු. අද නම් වෙබ් පිටුවකට පිවිස බොත්තම් කිහිපයක් එබූ සැණින් තොරතුරු ආවත් එදා අප තැන් දෙක තුනකටම ගොස් අවසානයේ කොළඹ ජාතික පුස්තකාළයේ "කුඩා ශාලාව" තෝරා ගත්තෙමු. කුඩා ශාලාව දැනටත් තිබෙන "මහ ශාලාවට" කෙළවර තිබුණු  ලොකු එළියක් නැති එකක් වුවත් එහි ගාස්තුව රුපියල් හැත්තෑ පහක් නිසා අපි එක පයින් එකඟ වුනෙමු. ශාලාව වෙන්කරවාගන්නට උඩුමහලට ගියවිට එහි අදාල කාර්යය භාරව සිටි තළතුනා කාන්තාව අපව තඹ සතේකට ගණන් ගත්තේ නැති එක නම් මට අදත් මතකය. "  මෙව්වා බරපතළ වැඩනේ..ඔය ඉස්කෝළෙක ශාලාවක් අරං කළොත් මොකෝ ළමයිනේ.." කියා ඇසුවාද මට මතකය. 
(එහි වැරද්දකුදු නැත. අද ඒ ජයාරූප බළද්දී මට මාව අදුනාගන්නටත් බැරිය. මගේ කැත කළු යාළුවා අජ කැත කෙට්ටු එකෙකි. මෙහෙම එව්වෝ කොළඹ ඇවිත් මෙහෙව් එකක් කරන්නට තරම් පන ඇති එවුන්දැයි ඈ හිතන්නට ඇත.)
ශාලාව වෙන්කලාට පසු ඇගේ ප්‍රශ්න වැලේ තව එකක් වූයේ " කවුද ඉතින් ආරාධිත අමුත්තෝ...? " යනුයි. අපි එහෙම කෙංගෙඩියක් ගැන හිතා හිටියේ නැත. අපි ගත් කටටම "අපේ ප්‍රින්සිබල් සර්" කීවෙමු. ඒ වෙළාවේ හැටියට එය ගැලවීමේ මාර්ගයකි.

පසුව අපි ආරාධිත අමුත්තනගේ ලැයිස්තුවක් සකස් කළෙමු. අංක එක අපේ ඉස්කෝළේ විදුහල්පති වූ ජයසුන්දර සර්ය. දෙවැනියා 181 මිත්‍රයාගේ තාත්තා සේවය කල "නීතී පිළිසරණ සේවයේ " ආරම්භකයෙකු මෙන්ම 89 මැතිවරනයෙන් පාර්ලිමේන්තුවට ආ  නීතීඥ නිමල් සිරිපාල සිල්වාය. රාජකාරී හෝ අධික වැඩ නිසා ප්‍රින්සිපල් සර් ආවේ නැතත් සිරිපාල මන්ත්‍රීතුමා එන බව අපට ටක්කෙටම ෂුවර් විය. එතුමාට එකළ එහෙමට වැඩක් තිබ්බේ නැත. 

 (මේ ළඟදී නම් එතුමා රෙදි කඩයක් විවෘත කරන්නට මාලඹේ හන්දියට ආ වෙලේ මට වැඩ ඇරී ගෙදර එන්නට අඩ පැයකට වඩා බලා සිටින්නට සිදුවුනේ පාර වසා තිබූ නිසාවෙනි.)

ඉස්කෝළේදී ආරාධනාව කල හැටියේ ප්‍රින්සිල් සර් එන්නට කැමැති විය. 
නිමල් සිරිපාල මන්ත්‍රීතුමා ආරාධනාව පිළිගත් බව 181 යාළුවාගේ තාත්තා තහවුරු කලේය. 

එහෙත් අඩුපාඩුවක් තිබේ. ඒ මහන්සිය අපේ වුව මේක නිමල් මන්ත්‍රීතුමාගේ නමට වැටෙන එකය. අපි ඊට "හරහට" කෙනෙක් ගෙනෙන්නට යෝජනා කළෙමු. ඒ අනුව වැඩේ කොළඹ නිසා එකල කොළඹ නගර සභාවේ පුරපති වෙන්නට විකල්ප මාධ්‍ය විසින් ඉඟිකරමින් සිටි හා ප්‍රේමදාස මහත්තයාගේ ලඟින් යන පෙනුමකුත් තිබූ රත්නසිරි රාජපක්ෂ ගෙනෙන්නට අපි කතිකා කරගත්තෙමු.
එහෙත් අපි ඔහුව දැනහිටියාට ඔහු අපිව දන්නේ නැත. ඉන්නා තැනක් දන්නේත් නැත. අනෙක ඔහු එකල නැගී එන දේශපාලකයෙකි. මේ ඉස්කෝලේ යන කොල්ලො කුරුට්ටන්ගේ වැඩක් කියා අපව ගනන් නොගනීදෝ කියා සැකයකුත් තිබුණෙන් අපි ඔහු මුණගැහෙන මඟක් සෙව්වෙමු. අන්තිමේ අපේ වෙලාවට කෙනෙක්  නැදිමාලේ බෝ ගස අසළින් දෙහිවල පැත්තට දිවෙන පාරේ තුන්වෙනි ගෙදර හිටි සෝමදාස අයියාව අපට අදුන්වා දුන්නේය.
ඔහු සෝමදාස අයියා  "පතාර් යූ ඇන් පී ඉත්තෙකු" බව කීවත් අප මේ වචන වල තේරුම වත් දැන නොසිටියෙමු. 
එහෙත් ඔහු අහිංසක සරල මිනිසෙක් විය. ජීවත් වූයේද තනිවම බව ඒ ගෙදරට ගිය පළමු අවස්ථාවේම අපට තෙරුම් ගන්නට පුළුවන් වුවත් ඔහුගේ රැකියාව හෝ ජීවත්වීමට කුමක් කරන්නේදැයි අප නොදැන සිටියෙමු. එහෙත් ඔහු සාමාදාන විනිසුරුවරයෙකු බව දොර එළිපත්තේ එල්ලා තිබුණු කුඩා බෝඩ් ලෑල්ලකින් දැකගන්නට පුළුවන් විය.
මේ
සෝමදාස අයියා අපේ අවශ්‍යතාව අසා අනාගත පුරපති රත්නසිරි රාජපක්ෂව අපේ උත්සවයට "සෙට්" කරදෙන්නට පොරොන්දු විය. ඕනෑ නම් ප්‍රේමදාස ජනපතිවරයා වුව "මේ දැන්" ගෙන්විය හැකි බව ඔහුගේ කතා වළින් " පැහැදිළි" වුවත් අපි අනාගත පුරපති කෙරෙහී විස්වාසය තැබුවෙමු. 

ඊළග දවසේ ඔහු අපට අරාධනාවක් සකසාගෙන ඔහුත් එක්කම
න්නට වෙලාවක් දුන්නේය. ඒ වෙලාවට අප ඔහුව හමුවුනේ නැදිමාලේදීද නැත්නම් මහරගමදීද කියා මතක නැතත් ඔහුට බස් එකට ටිකට් ගත්තේත්, මාළිගාවත්තේ මහල් සංකීර්ණය ළග තේ කඩේකින් ප්ලේන්ටි බීවේත් අප ගානේ කියා මට මතකය. එහෙම මතක ආපහු එන්නට හරි බස් ගාස්තුව එක සාක්කුවක තබාගෙන අනෙක් සාක්කුවෙන් පොඩි සල්ලි වගයක් එහා මෙහා කල මගේ යාලුවා දහ වතාවකට වඩා " මේක හරියන්නේ නෑ බං..මූ තේ බීලා වඩේ එකකුත් 
කෑවා .." කීම නිසාවෙනි.
අන්තිමේ අපි වෙලාව බලමින් මාළිගාවත්තේ තට්ටු නිවාස පෙලේ එක පඩි නගිමින් තට්ටු පහ හයක් තරණය කළෙමු. එක තැනකදී නතරවූ ගෙදර දොරේ "රත්නසිරි රාජපක්ෂ " කියා බෝඩ් ලෑල්ලක් අලවා තිබිණ. අපි එහි සීනුව නාද කළෙමු. දොර කඩන්නට සයිස් එකෙන් දොරට ගැහැවෙමු. එහෙත් ප්‍රතිචාරයක් නැති තැන පල්ලම් බැස්සෙමු. අන්තිම පඩි ටික බහින විට සුදු කොට කළිසමක් සහ 
"දුවන සපත්තු " දාගෙන දාඩිය පෙරාගෙන ආ කළුම කළු සුදුම සුදු දත් දෙපළක් තිබූ මිනිසා සෝමදාස අයියා හදුනාගෙන "යං යං " කීය. අපි ආපහු අර පඩිපෙල නැග්ගෙමු. සාක්කුවේ යතුරකින් දොර ඇරගත් කොළඹ අනාගත පුරපති අපට ඉදගන්නට සන් කොට " තේ එක බොමු නේද..?" ඇසූ සැණින් මගේ යාලුවා " නෑ අපි මේ දැන් බිව්වේ " කීවේ තව කීයකට හරි තට්ටු වෙයි කියා හිතපු නිසා වන්නට ඇත. කෙසේ හෝ අප ආරාධනාව දික් කලෙමු.
ඔහු විස්තර අසාගේ ඇතුළෙන් පොතක් ගෙනවිත් එය ළියාගත්තේය. "ඉන්ඩ තේ එකක් බීලම යමු... තේ බොන්නට වතුර ලිපේ තියන්ඩද..? " යි ඇසුවේය.
සෝමදාස මෙන් ඔහුද  තනිකඩයෙකු වන්නට ඇත. අපි ස්තූති කොට පල්ලම් බැස්සෙමු. 

ඒ පල්ලම බැස
සෝමදාස අයියා යන්නට කියා පිටකොටුව බලා ඇදුනෙමු. ඒ මුද්දර ඇලවීමට කළු ඩිමයි ගන්නටය. පිටකොටුව දෙවනි හරස් වීදියේ කාඩදාසි කඩ පිරමින් ලාබම කළු ඩිමයි කඩදාසි සෙව්වෙමු. අන්තිමේ ගණන් ඇසූ විට "රීමම ගන්න මල්ලි යේක ලාබයි" කියා කඩේ මුදළාලි කීවද අපට මේ රීම ගැන තේරුණේ නැත. පෝළිමේ සෙනඟ බලන් ඉද්දී "රීම" ගැන අනේක ප්‍රශ්න ඇසූ අපට මුදළාලි " ගන්නවනං ගන්ඩ අයිෂෙ" කියා සත්තමක් දාද්දී කඩෙ කොළුවා අපට එය තොග ගනන බවත් ලාබ බවත් කීවෙන් හනික මුදල් ගෙව්වෙමු.

 ඒ කොළ බණ්ඩලයත් තව කාඩ්බෝඩ් තොගයකුත් මිලදීගෙන 138 බස් එකක පටවාගෙන  විජේරාමේ යාළුවාගේ ගෙදර ආවෙමු. එහිදී මූලිකා කාරණා ලෙස අඩි තුනක් උස දෙකහමාරක් පමණ පලල ඩිමයි කොලේ උඩින්ම රටවල් අනුව වර්ගකල ලේබලය අලවා පැත්තකට කලෙමු. ඉන්පස්සේ ඒ ඒ රටවල් වලට අදාල මුද්දර ඇලවූවෙමු. මුද්දර කවර වලට වෙනමම ඩිමයි කොල විය. සමහර මුද්දර ලැබී තිබුණේ මගේ විජේරාමේ යාළුවාගේ හිතවත්කමක් උඩ පරෙස්සම් කර දෙන පොරොන්දුව පිටය. ඒවා අලවන්නට තහනම් විය. ඒ සදහා අඟලේ ඉටිකොල ගෙන දෙකට පලා කාඩ්බෝඩ් වල රදවා දැන් විකුණන්නට තිබෙන " මුද්දර ඇල්බම් " විදියට හදන්නට විය. ඊට අමතරව කීයක් හරි හොයාගෙන වියදම් පියවාගන්නට අගල් හයේ හතරේ කඩ්බෝඩ් වල ඇලවූ වැඩිපුර මුද්දර පිහිට විය. 

 ඊට අමතරව කුඩා පොතක් ලෙස සැකසුණු සමරු කලාපයක්ද නිමා කෙරිණි. අද මෙන් කොම්පියුටරයෙන් නොව 181 යාළුවාගේ අතින් ඇදුනු" එකමුතු " අකුරු කොටස් සහ වෙනත් චිත්‍ර සදහා බ්ලොක් කැපුණේ බොරලැස්ගමුවේ තැනකින් බව මට මතකය. ඇළුමිනියම් අච්චුවක කැපුණු හැඩතළ මුද්‍රණය කලේ මහරගම වැව පාරේ තැනකය. මේ සමරු කළාපයට මුද්දර ගැන ලොකු විස්තරයක් අයිති විය. රටවල් අනුව මුද්දර වර්ග කෙරෙන හැටි, නම නැතිව මුද්දර නිකුත් කරන රටවල් ගැන විශේෂ සටහනක් විය. විස්තර සොයා අප කොළඹ මුද්දර කාර්යාංශයට පවා ගිය මතකයක් ඇති මුත්, එකළ එය කොළඹ සුපිරි ගොඩනැගිල්ලක් වූ සෙලින්කෝ මන්දිරයේ තිබීම ගැන විවේචනයක්ද මේ ළිපියට ඇතුල් කලා වාගේ මතකය. මුද්දර එකතු කලෝ මේ මන්දිරයේ හතරවෙනි තට්ටුවේ මුද්දර කාර්යාංශයට ඒම තබා එහි අසලින් යාමද නොකල බව නම් සැබෑවය.

ඊළගට ප්‍රදර්ශණය සදහා ප්‍රචාරණයක් ලබාගැනීමට පුවත්පත් වලට ලීවෙමු, බැනර් දෙක තුනක් (මහරගම, නුගේගොඩ, කොළඹ හන්දි වලට ) ඇන්දෙමු. මේ වැඩ සදහා 
181 යාළුවා රෑ නිදිමරාගෙන වැඩ කලේය. අන්තිමේ අප බැනර් එල්ලන්නට යද්දී පාරේ අනෙක් පැත්තේ ලොරියක බැනර් කපන අය දැක තුෂ්නිම්භූත වූයෙමු. පසුව දැනගත් පරිදි ඒ බැනර සදහා නගර සභාවට ගෙවීමක් කොට යම් අංකයක් ලබාගත යුතුව තිබිණ. ඒ අංකය අර බැනරයේ යටින් සදහන් කල විට බැනරය කපන්නේ නැත. ඒත් ඕවාට රස්තියාදු වෙන්නට වෙලාවක් නැත. නෙක මුදළ් ද නැත. ඊට එහා පැත්තේ නාට්‍යයක බැනරයක් තිබ්බේ හොද වෙලාවටය. ඒ අංකය අපේ බැනරයේ තිබ්බාට 'කපන " අයට එක දැනී තිබුණේ නැත. අපට අමතරව වියදම් වූයේ "පර්මනන්ට් මාකරයක" ගාන පමණ.

අප සියළු දෙනා ප්‍රදර්ශනය දාට කළින්දා හවස ගොස් සියල්ල ලක ලැහැස්ති කොට ගෙවල් වලට ගියත් මම විජේරාමේ යාළුවාගේ ගෙදර  නැවතුණෙමි. පහුවෙනිදා 181 යාළුවා තාත්තා සමග නිල් ඕපල් කාර් එකෙන් අප එක්කගෙන යන්නට එනවා කියා ආවේ නැත. ඒ නිසා අප බස් එකක නැගී කොළඹ ආවෙමු. ඇවිත් සියල්ල සකසාගෙන උත්සවයට සූදානම් වෙද්දි  අපේ යාළුවා හැන්ඩි පහට ඇද පැලැදගෙන ආ විට අප කියූ ද මෙහි ළියන්නට බැරිය. 

ජයසුන්දර විදුහල්පතිතුමා මුළින්ම වෙළාවට ආවේය. 
දෙවනුව  නිමල් සිරිපාල සිල්වා  මන්ත්‍රීතුමා ආයේය. 
තෙවැනුව රත්නසිරි රාජපක්ෂ අනාගත පුරපතිතුමා ආවේය. 

එහෙත් ඔහුගේ මුහුණේ ලොකු එළියක් තිබ්බේ නැත. හේතුව දැනගත්තේ පසුවය.

හේතුව එදා මහ ශාලාවේ " කොළඹ පුරපතිගේ නොසැකිළිමත් පාලනයට එරෙහිවෙමු " නමින් වූ වෘත්තිය සමිති රැස්වීමය. එහෙම එකක් තියෙනවා කියා අප
ත් දැන සිටියේ නැත. රත්නසිරි රාජපක්ෂ අනාගත පුරපතිතුමා කුඩා ශාලාවේ පීත්ත පටිය කපද්දී එක බිත්තියකින් එහා පැත්තේ මහ ශාලාවේ  එතුමාගේ පදවියේ සිටි පුරපති මොහොමඩ් මහතාට දෝෂාරෝපණය කරමින් උද්වේගකර කතාවකි. එහෙත් ඔහු නිහතමානී ලෙස ප්‍රදර්ශණය විවෘත කොට "මුද්දර පැකට්" දෙක තුනක්ද මිළදී ගෙන නික්ම ගියේය. 

අද වගේ දවසක නම් " අපේ ඒවා පැකට් ' කරනු නොඅනුමානය. (ඔහු ඒ ගැන ලොකුවට හිතන්නට නැතිව ඇත. පසුව ඔහු සැබැවින්ම පුරපති තනතුරට පත්විය.)

අන්තිමේ  අපි ප්‍රදර්ශණය සාර්ථකව නිම කළෙමු. බොහෝ දෙනා එය බලන්නට ආහ. මා දන්නා තරමින් එය ලංකාවේ පැවත්වූ පළමු මුද්දර ප්‍රදර්ශණයය. එකම එක වන්නටත් පුළුවන. 


අද මගේ පින්තූර ඇල්බමයේ මගේ පින්තූර, අනුන්ගේ පින්තූර සහ සොරකම් කල පින්තූර අතරේ මේ

 " එකමුතු මුද්දර දැක්මේ " පින්තූර තිබේ. (මා සොරකම් කළ නිසා තාම ඒවා සුරකිව තිබේ.)  ඒ ගැන ආඩම්බරය. 

එහෙත් පොඩි දුකකුත් තිබේ. 

ඒවායේ ඉන්නා රත්නසිරි රාජපක්ෂ, ජයසුන්දර සර් වැනි අය ජීවතුන් අතර නැති එකය. 
නූල් වගේ කෙට්ටුවට හිටි අපට තඩි බඩවල් ඇවිත් තිබීමය. 
අම්මා ලස්සණ සාරියකින් සැරසී ලොකු අයියාගේ අක්කා සමග මුද්දර බලන නිරෝගිකමය. 
තරුණකමය. 
181 යාළුවා තවදුරටත් යාළුවෙක් නොවන එකය. 
දැන් මේ පින්තූර වලට අවුරුදු විසි අටකට වඩා වැඩි විමය. 

ඒ අතරේ තව දුකක් තිබේ. ඒ නම්

ගොඩ දවසකින් මෙව්වා ගැන කතා කරමින් හිනාවෙන්නට, අඩියක් ගහන්නට මම ඒ වෙලාවට දුමක් අදින්නට උත්සාහ කළ විට අම්මා මෝ නැතුව බනින්නට බැරි තරම් එදා එකට සිටි මිත්‍රයයෝ "බිසි " ජිවීත ගතකිරීමය. (මා ඇතුළුව.)


ප.ලි.
අර කළු ඩිමයි වල මුද්දර ගලවන්නට නම් අපි එකෙක්වත් ගියේ නැත. මගේ යාළුවා ඒ කළු ඩිමයි කන්ද කොහොම ඉවරයක් කරගත්තාදැයි මම දන්නේ නැත. එහෙත් මේ වැඩ සියල්ලෙන් පසු දවසක් චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වන්නට යෝජනාවක් ගෙන විජෙරාමේ ගෙදර ගියවෙලේ ගෙයි පිටුපස වතුර ටැංකියක මුද්දර තොගයක් අර කළු කඩදාසි පිටින් පෙගෙන්නට දමා ඇති අයුරු නම් දිටිමි. එහෙත් ඌත් අද වෙනතුරුත් මේ වන් මංගල්ල වලට කරගැහීම අතහරින්නේ නැත.

Sunday, September 24, 2017

දැං මං උපාලිට බය නැත.....



ලී වැඩ ගැන මට දැනුමක් ආවේ, මං නවන්දන්න එකෙක් නිසාවත් මගේ පරම්පරාවේ එකෙක්වත් ලීවැඩ කළ නිසාවත් නොවේ. එහි දශමකයක හෝ ගෞරවයක් ඇත්නම් යායුත්තේ අල්ලපු වැටේ ජෝරිස් සහෝදරයන්ගේ ලී මෝලටත්, ඒ සහෝදරයන් වූ රංජි, ආනන්ද, නිහාල් සහ මහින්ද අයියලාටත්ය. ඒ අස්සේම ප්‍රේමසිරිටත් ඒ ගෞරවය හිමිවිය යුතුමය. මන්ද මගේ "පොඩි පොඩි" බරපතල වැඩ වලට කන මිරිකා හෝ ටොකු ඇන හෝ උදව් කලේ ඔහු බැවිනි.
මට මතක ඇති වරෙක මම කුඩා කොපි පොතක කොලයක් පුරා චිත්‍රයක් ඇන්දෙමි. ඒ චිත්‍රයේ තිබුනේ දිගු බටයක් සහිත තුවක්කුවකි. සීනී අක්කාගේ මහත්තයා වූ ලක්ෂ්මන් අයියා විසින් ගෙනෙන VHS චිත්‍රපට වල තිබ්බේ මේ ජාතියේ තුවක්කුය. මම ඒ උන්මාදයෙන් තුවක්කුව කොපි පොතේ ඇන්දාට එය ලීයෙන් හදාගන්නා ක්‍රමයක් ගැන දහ අතේ කල්පනා කලෙමි. කල්පනා කරන්නට හේතුව "ජෝරිස් ලී මඩුවේ " කාට කිව්වත් මෙය නොකෙරෙන නිසාය. ඒකට හේතුව තුවක්කු බට උස්සාගෙන එහේ මෙහේ දගලන එක ඒ කාලයේ ඒ තරම් සුබදායක නොවන නිසාවෙනි. අන්තිමේ තුවක්කු බටයට කොසුපොල්ලක්  හොයාගත් මම තුවක්කු බදේ චිත්‍රයක් ඇද බයෙන් ගැහි ගැහී ප්‍රේමසිරි අයියාට දුන්නෙමි. ප්‍රේමසිරි අයියා මා සිතුවා සේම පළමු ප්‍රශ්නයෙන්ම දමා ගැසුවේය.

"මේ මොකක්ද බං.."
"මේකක්.."
"මේකක්..? මොකක්ද බිජ්ජෝ මේක කියන්නේ.."
"මේ මේකක්...ඔයා හදලා දෙන්නකො.."
"හදන්න යකෝ කියහංකො මොකක් කියලා උබේ මේක.."

මම අර කී බිජ්ජෙන් හුජ්ජ යන සයිස් එකෙන් බයවී

"තුවක්කුවක්.."

කීමී. ප්‍රේමසිරි අයියා මට ලෙන්ගතු හිනාවක් පෑවෙන් අර චූ බර ගතිය පහවී ගියේය.

"මට තේරුණා උඹ නැලවෙනකොට..හා හා..වරෙන් වරෙන්"

මම ප්ලෑන් බී නැතහොත් "එහෙම වුනොත් මෙහෙම" තියරියෙන් මල් හිනාවක් දා වීසීකරන, ළිපේ දාන ලී ගොඩට වැටුණෙමි. එහි මගේ තුවක්කු බදට ඕනෑ වෙන කෑල්ලක් මම කළින්ම හංගා තිබ්බෙමි. එයත් ගෙන ප්‍රේමසිරි අ‍යියාගේ වඩු බංකුවට ගිය විට එතැන හිටි ජෝරිස් නිහාල් අයියා මගේ තුවක්කු ප්ලෑන් එක අතට ගෙන ඇස් ලොවිගෙඩි දෙකක් මෙන් රතු කරගෙන මට කඩා පැන්නේය.
නිහාල් අයියා "හොදට බොන" කෙනෙකි. ඒ වෙලාවේත් එහෙම හොදට බී ඉන්නට ඇත. ඒ බීමේත් මගේ තුවක්කු ප්ලෑනේත් අවසානය එයම විය.

"වෙන ඕන කෙහෙල්මලක් කරගනින් මඟුල් තුවක්කු හදන්නේ නැතුව..."

ඒ අවසාන වාක්‍ය විය. මට අර කළින් ලෙන්ගතු පාටට හිටි ප්‍රේමසිරියාට දික් යත්තෙන් ඔළුවට එකක් දෙන්නට හිතෙන ළමා සිතිවිල්ලක් පහළ වුනත් ඒ වයසට අපට ඉවසන්නට වීම සාමාන්‍ය නිසාත් ඔහේ කරබාගෙන හිටියෙමි. එහෙත් ප්‍රේමසිරි අයියා මෙහෙම යෝජනාවක් කළේය.

" හරි උඹට මං ශෝක් බඩ්ඩක් දෙන්නං ..ඒක උඹ හදාගනින් .."

කියා ලොකු සුදු කොලදෙකක ඇද තිබුණු චිත්‍රයක් දුන්නේය. එහි තිබුණේ බොක්ස් ගිටාරයක සැලසුමකි. එය කාගේදෝ යැයි මා දන්නේ නැත. එහෙත් එය මගේ හිත අස්සෙන් ගොස් ඔළුවේ කොනක (මෂ්තිස්කයේ වෙන්නට ඇති.) සටහන් වුණේය.
එදා සිට සතියක් ඇතුලත මම මගේ ලී ගිටාරය හදා වයර් කම්බි දෙකකුත්, තංගුස් කම්බි දෙකකුත් සවි කළෙමි. වැඩේ ඉවර වී පහුවෙනිදාක ඉස්කෝළේ යන ගමන් උපාලි කන්නංගර හිටි දිපානි ප්‍රෙස් එකට මෙහා පැත්තේ බිල්ඩිම උඩ බළාගෙන ගමන්කළෙමි. මට ඕනෑ වී තිබුණේ උපාලි කන්නංගරට මගේ ගිටාරය ගැන කියා (මට මතක ඇති විදියට) "සුපර්ස්ටාර්ස්" බෑන්ඩ් එකට බැදෙන්නටය. එහෙත් උපාළි මා සත පහකට ගනන් ගත්තේ නැත.

හේතුව

සමහර දාට උපාලි කන්නංගර බැල්කනියේ ඉද හිනාවක් දැම්මාට මම අහක බලාගැනීමය. (මොන මංගල්ලයකට මම උපාලිට බයවුනාදැයි මම දන්නේ නැත.)
කෙසේ හෝ අන්තිමේ ගිටාරයගෙයි මුල්ලකට හේත්තු විය. ආපහු ගිටාරය ඔනෑ වුනේ ජීවීතයක් බේරාගන්නටය. ජීවිත එකක් නොව දෙකක්ම බේරාගන්නටය.

ඒ අපේ පූසිගේ පැටව් දෙන්නාය.

මහපූසි වැදුවාට බැලුවේ නැත. බලනවා තියා කිරි ටිකක්වත් දුන්නේ නැත. ඌ කළේ යළි අවලමේ යාමයි. අන්තිමේ මම අපේ අල්මාරියත් බිත්තියත් අතර ගෙයක් හදා අල්මාරි කකුලේ පූසිගේ එක කකුළක් ගැට ගැහුවෙමි. දැන් පූසිට යන්නට බැරිය. මුළින් මුළින් දැඟළුවාට පස්සේ පූසි තම උත්සාහය අතහැරියේය. ඌ බිම පෙරළි නිදද්දී පැටව් දෙන්නා කිරි උරා බොන්නට පුරුදු විය.
උන් ඉතා ඉකමනින් හැදි ආවේය. පූසිගේ කකුළ ලග තුවාලයක් හැදුනත් ඒවා අප ගනන් ගත්තේ නැත. "අප" කීවේ මේ වෙනකොට ලොකු අම්මා, අම්මා, අක්කලා වස බාප්පා ඇතුළු සියල්ලන් මගේ පරිශ්‍රමයට උදව් කරන්නට ආ හෙයිනි. කීප වතාවක්ම මේ පූසිය පැටව් දැම්මාට කිරි නොදීමෙන් මියගොස් තිබුණේය.
කෙසේ හෝ මම පූසිට එන්නට එළියට බැරිවෙන්නට තිබ්බේ අර ලී ගිටාරයය. ඒ ගිටාරය මහ බර එකකි. පූසිය ඒ බර ගිටාරය අස්සෙන් පැනගන්නට දැඟළු දවසක අර ගිටාරය පැටව් දෙන්නා අතරට වැටී තිබුණේය. ඒ බරට එකෙක් මියගොස් අනෙකා ඉතුරු වී තිබුණෙන් වස බාප්පා ගිටාරය වෙනුවට ලෑල්ලක් ඇණ ගසා හේත්තු කොට තිබුණේය.
අන්තිමේ ඉතුරු වූ එකා සැපට හැදුණෙන් ඌ පුළුන් ගොඩක් මෙන් මහත් විය.

අන්තිමේ දෙල්කදින් ලොරියක පටවා ගත් ලට්ට ලොට්ට අස්සේ ගිටාරයද අර පූස් පැටවාද හෝමාගම ගෙදර ආයේය. බස් එකෙ ආ අය අතර ආච්චි, ලොකු අම්මා ඇගේ දියණිය මෙන්ම ජෝරිස් පවුලේ අයද විය.
මම අළුත් ගෙදර පූසාට කූඩුවක් හැදුවෙමි. ඌ එහි ඉන්නට බලවත් ලෙස අකමැත්ත පළ කලෙන් මුදා හැරියෙමි. දවස් දෙකක් විතර නැතිවී සිටි පූසා යළි ආයේ මුත් ඉදහිට කකුළ් වලට පැන සපාකන පුරුද්දක් විය.
උට මේ පරිසරය ගැන කළකිරෙන්නට ඇත. එහි වසර පහක් විතර සිටි මටද ඒ පරිසරය එපා විය.
එහෙත් අවාසනාවකට අපේ බඩවල් පිරෙන්නට මුළු ජීවීතයම කැප කල, පැන්ෂන් පඩිය මරනයෙන් මතුද මාස දෙක තුනක් ගන්නට පුළුවන් වූ,  තාත්තාගේ ඇහෙන් මරණයක් වෙනුවෙන් කඳුළක් හෙලන්නට ඇති එකම කෙනා වූද, අම්මා සමග නොවිදිනා දුක් ගැහැට විදි ආච්චී  මනස වියවුල් කරගත්තාය.
ඈ ඟංගොඩවිළ යන්නට ඕනෑ කියා පාර දිගේ ඇවිද්දාය. සිහි විකල්ලෙන් දෙඩෙව්වාය. අන්තිමේ අසනීප වී එකතැන් වී අපත් සමගම තවත් දුක්විද මියගියාය.

ගිටාරය මුළ්ලක තිබී වේ හුඹස් බැද දිරාපත් විය.

මම අද වෙනතුරු ගිටාරයක් තබා තාලයකට සින්දුවක් කියන්නටවත් දැනගත්තේ නැත.

ජීවීතය එහෙම පුදුම එකකි.

මගේ පුදුමය නම් මේ සරල, ලොකු  කියවීමක් නැති වචන, අකුරු, සිදුවිම්, මිනිසුන්, සතුන්, ගහකොළ, ඟද සුවඳ,   සියළු දේ අතර ලොකු ගැඹුරු බැදීමක් තිබීමයි. මගේ තුවක්කු චිත්‍රය දීර්ඝ කතාවක් එකට ඇමුණුවේය. දීර්ඝ කාලයක් එකතු කළේය. ජීවීත බේරාගත්තේය. මරා දැම්මේය. මතක ලොරි බාගයකට සෑහෙන්න එකතු කොට ගිටාරයක් බවට පත්වෙමින් දිරාපත්ව නැතිවී, ශුන්‍ය වී ගියේය.

දිනෙක මමද එසේම මගේ මතක ලොරියද රැගෙන පල්ලම් බහිනු ඇත. ඊට කළින් මගේ මතක මා දන්නා, නොදන්නා, ආදරය කරන අය අතර කියවෙන්නට දෙන්නට වුවමනාවක් ඇති වී තිබේ. ඒ නිසා යළි ලියන්නට සිත්විය.

ජීවීතය නම් අපූර්වමය.

Monday, May 15, 2017

තුවාල හොදවන තුරු නවතිමි..... (අවසාන කොටස )




















කිසිම විශේෂ හේතුවක් නැතුවත් ..සරල හා අහඹු ලෙසත්...
බොහෝමයක් අය මට ආදරය කලෝය...

එහෙත්  ගිණිය හැකි තරමේ අල්පයකට මම ආදරය කලෙමි...

ඒ අතරේ...


මා වැටෙද්දී...ඕනෑකමින් ගිලෙද්දී...මා වෙනුවෙන් දිගු කල දෑතක් තිබිණි...
මට එය නොපෙනී තිබුනේ ඇයි කියා මා දහස්වර කල්පනා කලෙමි...

එහෙත් ඇත්ත නම් මා කිසි විටෙක ඒ දෑත ගැන කල්පනා නොකල බවයි...


ඇගේ හදවතේ මා වෙනුවෙන් වූ තුවාලය මා විටින් විට පාරන්නේ යැයි මට දැනෙන විටත්..ඒ තුවාලය කුඩා සියුම් එකක් බව දැනෙන විටත් මා පරක්කු වැඩි බව දනිමි...

ලොකු තුවාල වලට වඩා සියුම් තුවාල රිදෙන්නේ යැයි මා දැනගත්තේ අද ඊයේය...

ඒ තුවාල ඔහොම තියෙද්දෙන්....

Tuesday, May 9, 2017

කුරුළු තොරණ් වල මතක..


වෙසක් නිවාඩුවට පානදුරේ පුංචිලාගේ ගෙදර යන්නට එවර නියමිත විය. අපි නිවාඩු යන්නේ ඒ ගෙවල්වල අයට වෙන වැඩ තිබේදෝ හෝ වෙන ගමන් යෙදී තිබේදෝ සිතා නොවේ. ගමන් මල්ල ලහැස්ති කරන්නේ මමය. අම්මා ගමන යන්නට ඕනෑ කරන වියදම සපයාගෙන දෙල්කදින් කොටුවටත් එතැනින් පානදුරටත් පානදුරෙන් දිබ්බැද්දටත් ගමන් මල්ලත් කොට කලිසං කොල්ලාත් අල්ලාගෙන ගමන් කරනීය.

එදා සීටීබී බස් වල ජනෙල් කවුළුවලින් හඹා ආ සුලං වලින් අම්මාගේ හිසකේ අවුල් වන්නේය. සිගරට් දුම එක ජනේලයක අයිනේ සිට ගැහැණු පිරිමි ළමයි ආදී හුස්ම ගන්නා සියල්ලන් හඹා අප වෙතද එන්නේය. විටෙක ඉදිරිපස ජනේලයකින් ගැසූ බුලත් කෙල පිඩක් චිරිස් ගා බිදී විත් අපේ මුහුණවල් වල කුඩා රත්පැහැති හැඩ කරන්නේය. බස් රථවලට ආගන්තුක කුඩා දරුවෙක් වමනයට ආ සැනින් දෙමාපියන් වහාම ජනේලයෙන් පිටට හරවන්නේය. ඉන් පිටුපස්සේ ජනේල දඩි බිඩියේ වැහෙන්නේය. වැහෙන්නේ නැති ජනෙල ලග ඉන්නා වුන් දනිපනි ගා නැගිටුවන්නට සමත් හඩ නම් මට තවමත් මතකය. අදත් සමහර බස් රථ වල අර ලොකු වමනය පැල්ලම ඇද්දැයි මා බලමි. එහෙත් කාලය විසින් සියල්ල නිරාකරණය කොට ඇත්තේය. අද බස් වල ජනේල වලින් වමනය කරන වුන් නැත්තටම නැතිවී ඇත්තේ මෙනි.

කොටුවේදී කොට කලිසම් කොල්ලාට අම්මා අරන් දෙන්නේ ෆලූඩා එකකි. ඒ කොටුවෙන් බැස පානදුර බස් එකට යන අතරවාරයේය. කොට කලිසම් කොල්ලා අර සරුවත් වීදුරුවේ උඩ පාවේන අයිස්ක්‍රීම් ගුලිය කන්නේවත් දියකරන්නේවත් නැත. කසකසා ඇටත් රෝස පාට කිරි මුසු ෆලූඩාවත් ඉක්මණින්ම බී ඉවරකරන කොල්ලා අර අයිස්ක්‍රීම් ගුළිය කන්නේ අන්තිමටය. ඒ කොල්ලාගේ අයිස්ක්‍රීම් පිළිබද වූ බඩජහරිකම අදටත් නැතිවී නැත්තේය.  අම්මා ක්‍රීම් සෝඩාවක් බී ගුඩුස් අරින්නේය. එහෙම කොට යළිත් කොට කලිසම් කොල්ලා සමග පානදුර බසයට නැග නින්දක් නිදන්නේය. එය අපූරව නින්දකි. අප දෙන්නා දහදිය පෙරාගෙන ඔලු හැප්පී හැප්පී පානදුර ලගාවනතෙක් නිදන්නෙමු. අතරමග මා ඇහුරුණහොත් මා හැරී බලන මිනිත්තුවෙන් අම්මාද නැගිටින්නේය. අදද මට පුදුමය මා නැගිට බව, අම්මා දන්නේ කෙසේදැයි යන්නයි.

පිටකොටුවෙන් පටන්ගත් විට ''තව සෑහෙන දුරයි'' කියන අම්මා පානදුර ලංවන විට ''තව ටිකයි..'' කියන්නීය. අන්තිමේ අපි දෙන්නා පානදුරෙන් බැස දිබ්බැද්ද බලා යන කොට පාන් බාග බස් එකක නැගගන්නෙමු. මට නම මතක නැති දිබ්බැද්ද පන්සල ලගින් බැස ඉතුරු ටික පයින් යන්නෙමු.

ඒ ගෙදර තිබුනේ ලොකු වත්තක් මැදය. වත්තක් කීවාට පලලින් අඩු, දිගින් වැඩි ඉඩමක හරි මැද ලොකු ගෙයක් සදා තිබුනේ ඉතා නිස්කලංක ලෙසය. එකල පුංචීගේ අය්යා වැඩ කලේ ඕමානයේ රජ්ජුරුවන්ගේ සත්තු වත්තේ බව මට මතකය. අපි නැදෑකම් පසෙකලා  'පෙරේරා අය්යා' කී බාප්පා ඉතා හොද කෙනෙකු මෙන්ම සරල මනුස්සයෙකුද විය. පුංචී අතිශය විනෝදකාමී සැහැල්ලු ජීවීතයක් ගතකලාය. කෑමට බීමට ලෝබ නොවුවාය. ඇගේ කුඩා දරුවන් දෙදෙනා එකල අවුරුදු අට දහය තරම් විය. මට ඔවුන් මට අය්යේ කීවේන් මම ලොක්කෙකු ලෙස හැසිරුනෙමි. ඒ ගෙට එක වැටක් වමට වන්නට ලොකු ළමයින් සිටි 'ටියුෂන් ඇන්ටි' ලෙස මට මතක නැන්දා කෙනෙකු පුංචීගේ ලගම හිතවතිය විය. ඒ ගෙදර අය්යලා අක්කලා සියළුදෙනාම විශ්වවිද්‍යාල වලට ගිය බව මට මතකය. එ අය්යලා විසින් ගමේ ළමයිනට අමතර පන්ති පැවැත්වීම නිසා ටියුෂන් ගෙදර ලෙසත්, නැන්දා ටියුෂන් ඇන්ටී ලෙසත් හැදින්වූවා  කියා මට යන්තමට මතකය.

කෙසේ හෝ අම්මා එදා රෑ එහි නතර වී පහුවෙනිදා ගෙදර යන විට ඇරලවන්නට අපි සියල්ලෝ පයින් යනු මට හොදට මතකය. අම්මාත් පුංචිත් නතර නොවන කතාවෙන් ඉදිරියෙන් යද්දී අපි කානුවලට බහිමින් ගස්ගෙඩි කඩමින් ගස්වල අතු කඩමින් පස්සෙන්ම යන්නෙමු. අම්මා බස් එකක නැගී නොපෙනී යනතුරු සිට යලි අර ගස් ගානේ කානු ගානේ බැස එන්නෙමු. අප ඒ තරම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ඉන් පස්සේ එලඹෙන මාසයකින් පසු අම්මා මා එක්කා යන්නට එනතුරු අර ඉඩමේ වැටෙන් එලියට අඩිය තැබීම අපට තහනම් වන නිසාවෙනි.

අම්මා ගිය පසු දින දෙක තුනක් පාළුවක් දැනුනද මල්ලිලාගේ අලුත් අලුත් වර්ගයේ සෙල්ලම් බඩුත්, පුංචීගේ අළුත් අළුත් කෑමත්, බිස්කට් කේක් සහ පලතුරුත් නිසා මට ගෙදරට වඩා පානදුරය ලං වන්නේය. අන්තිමේ මම ඒ ගෙදර එකෙක් වන්නේය.

වෙසක් එන්නේත් ඒ එක නිවාඩුවක මා ඒ ගෙදර එකෙකු වී සිටි කාලයකය. මල්ලිලා සමග එකතුවී කූඩු සැදීම ඇලවීම ආදී සියල්ල පිරිමැස්මෙන් හා අපූරුවට කරන මා දකින වාරයක් පාසා පුංචී ගේ කටින් පිටවන වචන කිහිපයක් තිබේ. ඒ '' උඹට නං තාත්තගේ අත් හම්බවෙලා තියෙන්නේ කොල්ලෝ..'' යනුවෙනි. ඈ උඹ කීවේත් කොල්ලෝ කීවේත් ආදරයටය. මම ලැජ්ජාව මිශ්‍ර කුමක්දෝ හැගීමකින් සිනාවෙන් පමනක් ඇයට උත්තර දෙමි. මන්ද තාත්තා කූඩු හැදූ හැටි මට මතක නැති නිසාවෙනි.

ඒ කෙසේ වුව එවර ඈ අලුත් යෝජනාවක් කලාය. ඒ  ගෙයි මිදුලේ තොරණක් සැදීමයි. මම එක පයින් කැමැති වුනෙමි. ඇය කොහේදෝ කාමරයක සිට වයර් බල්බ් හෝල්ඩර් ආදී නොයේක විධ කළමණා තොගයක් කාඩ්බෝඩ් පෙට්ටියක තිබී සාලයේ හැලුවාය. ඒවා ඕමානයේ සිට පෙරේරා අය්යා ගෙනවිත් තිබූ දෑ වන්නට ඕනෑය. තොරණට සැකිල්ල සදා දුන්නේ ටියුෂන් ගෙදර ලොකු අය්යා හෝ අනෙක් වත්තේ කෙනෙකු බව මට අපැහැදිලි මතකයක් තිබේ. තොරණට ''සත්සතිය'' ඇන්දේ මමය. සත් සතිය පැන්සලෙන් ඇද පාට කරන්නට පාට හදා දුන් විට මල්ලිලා පාට කලේය. මම අර තොරන් සැකිල්ලේ ප්‍රමාණයට සත්සතිය තැන් තැන් වල අලවා පිළිවෙලක් කලෙමු.  එහෙත් ලයිට් එල්ලන්නට මට පුළුවන් වෙතැයි මා සිතා සිටියෙන් අර බල්බ සහ වයර් එකෙන් එක අමුණා අන්තිම කොන් දෙක දිග වයරයකට ඇමුණුවෙමි. වෙසක් දිනට පෙරදින රෑ වනතෙක් තොරණේ වැඩ කටයුතු සිදුවෙමින් පැවතිනි. ඒ අතරේ අපේ තොරණ අඩි දොලහක්වත් උස නිසා කෙලින් සිටුවන්නට වැඩිහිටි සහය අවශ්‍ය විය. තොරන උස්සා කෙලින් කලපසු එය දැවැන්ත විය. අඩි තුනක් හතරක් උස අපට පමණක් නොව වැඩිහිටි අයටත් තොරණ දැවැන්ත විය. ඒ අනුව පුංචීගේ වියදමෙන් බීම දන්සැලක්ද...ටියුෂන් අය්යා කෙනෙකුගේ මැදිහත්වීමෙන් සත් සතිය විස්තර කෙරෙන කැසට් පටයක් පුංචිලාගේ ලොකු කැසට් යන්ත්‍රයේ උදව්වෙන් විකාශය කිරීමටත් තොරන් රාජයා විවෘත කිරීමට උත්සවයකුත් සංවිධානය කරගැනීමට හැකිවිය. එහෙත් අවසාන මොහොත දක්වා මගේ අවාසනාවට කවුරුවත් තොරණේ ලයිට් දමා බැලීමට උත්සුක වුනේ නැත. මමද නොදන්නාකම පෙන්වීමට ''බැරි බැරියාව '' නමැති රෝගයෙන් පෙලී අවසාන මොහොත දක්වා සියල්ල හොදින් කෙරී ඇතැයි සිතා කල් හැරියෙමි.

 වෙසක් සද උදා විය.

සත්සතිය විරාජමානව බැබැලෙන්නේය. කැසට් යන්ත්‍රය මෙන්ම  විසාල ප්ලාස්ටික් බදුනකට පිරවූ  අන්නාසි බීම සහ කෝප්පද ලැහැස්තිය. එදා ආරාධිත අමුත්තා වූයේ  ටියුෂන් ගෙදර මාමාය. ඔහු කොළඹ නැවැතී රස්සාවක් කල කෙනෙකු නිසා මට පමණක් නොව හැමෝටම අමුත්තෙකු විය. ඒ මාමා මා දැක ඇත්තේද දෙතුන්වාරයකි.  අන්තිමේ පුංචි විසින් ගෙදර සියලුම ලාම්පු නිවාදමා අප කළුවරේ තබමින්  ආරාධිත අමුත්තාට තොරණ විවෘත කරන්නට ආරධනා කලේය. අමුත්තා  විදිලි ස්විචය එබුවා පමණි තොරණ පිටුපස්සෙන් මල් වෙඩිල්ලක් පත්තුවී ගියේය. අපේ තොරණේ එකම එක විදුලි බුබුලක් පත්තු  වී නිවී යන සැනින් ''පට පටස් '' ගා ගෙයි ඇතුලෙන් සද්දයක් ආවේය.

යලි සියල්ල ඝනදුරේය.

මගේ විදුලි කාර්මික පට්ටම ගැලවෙන්නට ප්‍රධාන පූවරුව පිච්චී ගොසිනි. පුංචි විනාඩි කිහිපයක් යන්නට පෙර ඉටිපන්දම් කිහිපයක් රැගෙන ආවාය. තොරණ පාමුළ අරාධිත අමුත්තා විසින් ඒවා පත්තුකොට විවෘත කරන ලද්දේය. සියල්ලෝඅ අත්පුඩි ගැසූහ. දන්සැලද විවෘත කෙරුණේය. සියල්ල ඝන අදුරේ නිසොල්මනේ සිදුවිය. මා කලකිරිමෙන් සහ ලැජ්ජාවෙන් අදුරේම සැගවී මල්ලිලා සමග කදුළු පෙරමින් ඇඩුවෙමි. ඒ අතරේ අන්නාසි දැමූ සරුවත් කෝප්ප දහයක් දොලහක් හිස් කලෙමි. මට අන්නාසි විස වීමේ ලෙඩක් තිබෙන බව දැන දැනත් කුඩාවට කැපූ අන්නාසි සහිත සරුවත් කෝප්ප හිස් කලෙමි. පැයක් යන්නට මත්තෙන්  ඉදිමී කසමින් පළු දමමින් හුස්ම ගන්නට බැරිවෙමින් දගලන මා,  කෙනෙකු විසින් සොයාගන්නා ලදුව කාගේදෝ බයිසිකලයකින් දොස්තර කෙනෙකු ලගට එක්කාගෙන යනු මට මතකය.
 (ඒ අතරේ පසු කලෙක තවත් කෙනෙකුගේ හිත හදන්නට, අන්නාසි බීමක් බෑ නොකියා බැරිකමට බී අලි පළු දෙකතුනක් මූනේ හදාගෙන හිනාවෙවී සිටි හැටි මට අදත් මතකය. ඒ අයට මතක නැති බව මට විශ්වාසය.)

එහෙත් ජීවිතය හැමදාම පරාද වෙමින් පවතින්නේ නැත. අප එනවිට පුංචිලාගේ ගේට්ටුව ලග සිට මහා එලියකි. ඒ එළියේ දිගු පෝලිමක් මෙන් ගැහැණු මිනිසුන් සහ ළමෝ සරුවත් බොන්නේය. ගේට්ටුව ලගට යන විට මහ හඩින් අර කැසට් යන්ත්‍රයෙන් සත්සතිය පිළිබද වර්ණනා කොට විරුදු පෙලකි. මා බයිසිකලයෙන් බැස හිස උස්සා බලන විට මගේ තොරණ් රාජයා නිමෙන පත්තුවෙන බල්බ වලින් එලිය වැටී විරාජමානය. ඒ ඉදිරිපිට පුටු තබාගෙන අරාධිත අමුත්තා ඇතුළු පිරිස කතා බහකය. මා දුටු සැනින් ඔවුන් නැගිට විත් මගේ අමාරුව අඩුවී ඇති බව දැන මගේ ඔළුව අතගා මා පැසසුමට ලක්කලේය. අරාධිත අමුත්තා මා අත මට දැන් මතක නැති යම් මුදලක් තැබුවේය. ලොකු ලොකු තොරණ් හදන්නට හැකියාව ලැබේවා කියා සුබ පැතුවේය. මගේ සිත පිරී ඇත්තේය. ඊලග වතාවේ කැරකෙන කූඩුවක් හදමි යැයි සිතා ගත්තා පමණි පුංචි පැමිණ අර මුදල් ඉල්ලාගන්නා ගමන් '' උඹලගේ අම්මා අච්චර මැරෙන්නේ උඹ ලොකුවෙලා තොරං ගහනවා බලන්ඩ නෙමෙයි..''  කියා මගේ හිත බින්දාය.  ඈ මා දොස්තර ලගට ගිය වෙලේ කවුරුන් හෝ ගෙන්වාගෙන විදුලි දෝෂය හදවාගෙන තිබේ.

සමහර රිදවීම් කෙරෙහි මා බලන්නේ ඉතා හැගීම්බරවය. සමහරුන් කෙරෙහී රිදවාගන්නා හා ඔවුන් ජීවීතයෙන් ඈත්කර තබන නොමනා කමක් මා ලග ඇත්තේය. එහෙත් එදා පුංචී මා රිදවූ රිදවිල්ල මා වෙනස්ම කෙනෙකු කලේය. අදටත් පවතින පුංචී පිළිබද ආදරණිය හැගීමක් ඇතිකර  දුන්නේය. නිවාඩුව ඉවර වී අම්මා ආ කල ඇය අර මුදල් වලට අමතරව තවත් මුදල් ප්‍රමාණයක් අම්මා අත තබා ඒ මගේ මුදල් බවත් ''කොල්ලා තොරනක් සදා ගමම හෙල්ලු..''  බව කියා කීවාය. මා හෙල්ලූ ගමක් නැතත් ඇය එදා පටන් ''අපේ එවුං වැඩ්ඩෝ..''කියා ආඩම්බරයෙන් කියනු මා හොරෙන් කිහිප වතාවක්ම අසා තිබුණෙමි.

එදාත් අප බස් එකට නගින්නට යන ගමනේ අර කානු වල බැස්සෙමු. ගස් කොල වැල් කඩා පාර පුරා දැමුවෙමු. කොළඹ කොටුවෙන් බැස ගෙදර අයට මිදි කිලෝවක් ගෙන නිදන්නේ නැතිව ගෙදර ආවෙමු. නොනිදා එන්නට මගේ නහරයක් නහරයක් පාසා දුවන ආඩම්බරකම හේතුවන්නට ඇති බව සිතමි.

ප.ලි.
තව ලියන්නට බොහෝ දේ ඇතත් මගේ කොල්ලන් හට ගෙදර එල්ලීම සදහා වෙසක් කූඩු මිලදී ගන්නට ටවුමට යන්නට ඇති හෙයින් නවතිමි.

(මේ ලියමනේ, හදිසිය නිසා ඇතිවූ ජරමරයක් නිසා පානදුරේට යන ගමන කොටුවෙන් ගියා කියා ලියවුණි. එය ඇනෝ කෙනෙකු ඇන පෙන්නා දෙන තුරු මමද දැක්කෙ නැත. එය නුගේගොඩ ලෙස නිවැරදි විය යුතුය...)